6.06.2011

භූගෝලය මඤ්ඤං කරපු ට්‍රිනිටි මල්ලි

අපේ කැම්පස් එකට අලුත් බැච් එක ආවෙ ගිය අවුරුද්දෙ නොවැම්බර් වල. මේ ආපු අයට පොඩි පහේ බයිටක් දෙන එක පුරුද්දට ගිය වැඩක්. දවසක් තෙල් බැම්ම අයිනෙ දිගට හිටගෙන හිටපු කට්ටියකට ට්‍රිනිටි එකට ඉස්කෝලෙ ගිය මල්ලි කෙනෙක් හම්බුණා. මල්ලිගෙ හෙයාර් ස්ටයිල් එක අමුතු නිසා, කට්ටිය දිගට හරහට ප්‍රශ්න අහන්න පටන් ගත්ත.

“මල්ලි ඉස්කෝලෙ කොහෙද“ එකෙක් අහපි.

මල්ලිගෙ උත්තරේ “ට්‍කැන්ඩි - ට්‍රිනිටි“

“එතකොට ගෙවල්“ ආයෙත් ඇහුව.

“ගෙවලුත් නුවර අයිය“.

“නුවර කොහෙද - ක්ලොක් ටවර් එක ලගද“ ඔච්චමට වාගෙ අහපි. නුවර වටේ හැම ගමකටම වෙනම නමක් තියන හින්දයි එහෙම ඔච්චමක් කලේ.

“නුවර ටවුන් එකේ අයිය“ සපථ කළේය.

“ඒක තමයි බං අහන්නෙ, නුවර කොහෙද? ක්ලොක් ටවර් එක ගාවද - ගුඩ් ෂෙඩ් එකේ ද“ ආයෙ ආයෙත් ඇහුව.

“නුවරට ටිකක් මෙහා අයිය“ මෙච්චර වෙලා නුවර ටවුමෙ ගෙවල් තියනව කියපු මල්ලි, ඒ පාර කියපි.

“ඒක තමයි යකෝ අහන්නෙ නුවර කොහෙද? මහයියාවෙද - සුදුහුම්පොළද - දෙයියන්නෙවෙලද - කටුකැලේ ද බෝගම්බරද“ දිගට හරහට මල්ලිව ප්‍රශ්න කළා.

“නෑ අයිය, කෑගල්ලෙ“ මෙන්න බොලේ මල්ලි කියාපි.

“නුවර කොහෙද බොල කෑගල්ලක්?“ තෙල් බැම්ම අසල කට්ටිය මඤ්ඤං විය. නුවර ඉදං කෑගල්ලට රුපියල් 50 ක දුර. හැතැප්ම වලින්ම 25 ක්. පැය දෙකක ගමනක්. 

“යකෝ, තෝ සමාජ අධ්‍යයනය ෆේල් ද“ මේ කොල්ලා විසින් භූගෝලය මඤ්ඤං කරමින් සිටිනු ඉවසා සිටි නොහැකි තැන ඇසුවේය.

“ඇයි බ්‍රදර් එහෙම අහන්නෙ“ කොල්ලා මඤ්ඤ්ං වී ඇසීය.

අවසානයේ උගෙ අතේ සත පණහක් තැබීය. “මේ අරං ගිහිං ලංකා සිතියමක් අරගනිං. හෙට එනකොට ලංකාවෙ දිස්ත්‍රික්ක ටික ලකුණු කරං වරෙන්.“ කියා මල්ලි එළවා ගත්තේය.

3 comments: